• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1961 මාර්තු 17 – ප්‍රථම නිල ගමන – 11 වන පොදුරාජ්‍ය මණ්ඩලීය අග්‍රාමාත්‍යවරුන්ගේ සම්මේලනය

පොදු රාජ්‍ය මණ්ඩලීය අග්‍රාමාත්‍යවරුන්ගේ 11 වන සම්මේලනයට සහභාගි වීමට තම ප්‍රථම නිල ගමනෙහි යෙදෙමින් ලන්ඩනයට යාම සමග බණ්ඩාරනායක මැතිනිය ලෝක රාජ්‍යතාන්ත්‍රික වේදිකාවට පිවිසියා ය. කාන්තා රාජ්‍ය නායිකාවක් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවකට සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙය විය. මෙහි දී ඇය එක්සත් රාජධානියේ හැරල්ඩ් මැක්මිලන්, ඉන්දියාවේ ජවහර්ලාල් නේරු, පකිස්ථානයේ අයුබ්ඛාන්, ඕස්ට්‍රේලියාවේ රොබට් මෙන්සීස්, සයිප්‍රසයේ මකාරියෝස් III අග්‍ර රාජගුරු ප්‍රසාදී ත්‍රමා, ඝානාවේ ක්වාමේ න්කෘමා සහ මලයාවේ ටුන්කු අබ්දුල් රහුමාන් යන රාජ්‍ය නායක පෙළැන්තියට ඇතුළු වූවා ය. දකුණු අප්‍රිකාවේ වර්ණ භේද ප්‍රශ්නය, බ්‍රිතාන්‍යය පොදු වෙළෙඳ පොළට ඇතුල් වීම සහ එය පොදු රාජ්‍ය මණ්ඩලය කෙරෙහි බලපාන ආකාරය සහ සයිප්‍රසය සහ සියෙරාලියොනය පොදු රාජ්‍ය මණ්ඩලයට ඇතුල් වීම යන ගැටළු සාකච්ඡා වූ මෙම සමුළුව මගින් බණ්ඩාරනායක මැතිනිය අන්තර්ජාතික කටයුතුවලට සම්බන්ධ වූවා ය.