• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1961 සැප්තැම්බර් 01 – 06 – බෙල්ග්‍රේඩ් හී පැවති ප්‍රථම නොබැඳි සමුළු නායක රැස්වීම

යුගෝස්ලෝවියාවේ බෙල්ග්‍රේඩ් හී පැවති ප්‍රථම නොබැඳි සමුළු නායකයන්ගේ රැස්වීමට සහභාගී වීමෙන් බණ්ඩාරනායක මැතිනිය නේරු, ටිටෝ, සුතර්නෝ, නසර් සහ න්කෘමා වැනි ශ්‍රේෂ්ඨ ලෝක නායකයන් සමග නොබැඳි ව්‍යාපාරයේ සමාරම්භක සාමාජිකයෙකු වූවා ය. බෙල්ග්‍රේඩ් හී සමුළුව අමතමින් “මගේ රටේ නියෝජිත හැටියට පමණක් නොව, කාන්තාවක් සහ මාතාවක් හැටියට මිලියන ගණනක කාන්තාවන් සහ මවුවරුන්ගේ හැඟීම් සහ සිතුම් පැතුම් හඳුනන කෙනෙකු හැටියට මෙම ශේෂ්ඨ සමුළුවට සහභාගී වන්නට හැකි වීම ගැන මම සතුටු වෙමි” යනුවෙන් බණ්ඩාරනායක මැතිනිය ප්‍රකාශ කළා ය. බල කඳවුරු වශයෙන් ලෝකය වේගයෙන් බෙදෙමින් පැවති අවධියක, මෙම ව්‍යාපාරයේ අගය සහ විභවය ගැන විශ්වාසයක් ඇතිව “අපගේ ප්‍රයත්නය විය යුත්තේ රාජ්‍යයන් කොතෙක් බලවත් වුවත් යුද්ධය කතිකාවට විකල්පයක් නොවන බව අවබෝධ කර ගන්නා තත්ත්වය දක්වා ලෝක මහජන මතයට බලපෑම් එල්ල කිරීම යි” බණ්ඩාරනායක මැතිනිය ප්‍රකාශ කළා ය. ඒ අනුව ආරම්භ වූ නොබැඳි ව්‍යාපාරය සමග පැවති දීර්ඝ සහසම්බන්ධය, නොබැඳි ව්‍යාපාරයේ ප්‍රධානියා වශයෙන් ක්‍රියා කිරීමට පත්වීම ලද 1976 දී කොළඹ පැවති පස්වන නායක සමුළුවට සහභාගී වීම තෙක් සෑම සමුළුවකටම සහභාගී වීමට මග පෑදුවේය.