• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1961 දෙසැම්බර් 12 – එක්සත් ජනපදයේ රබර් ප්‍රතිපත්තියට එරෙහි ස්ථාවරයට ලංකාව නායකත්වය දෙයි

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් භාණ්ඩ බැහැර කිරීමේ නව ප්‍රතිපත්තිය හඳුන්වා දීමත් සමග, ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් සංචිතවලින් ස්වභාවික රබර් මුදාහැරීම හේතු කොට ගෙන, ලෝක වෙළෙඳ පොළෙහි රබර් මිල පහත වැටුණි. ලංකාව සම්බන්ධයෙන් රබර් කර්මාන්තය දරන වැදගත්කම සහ රබර් මිල පහත වැටීමෙන් ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි ඇතිවන බරපතල අහිතකර ප්‍රතිඵල ගෙනහැර දැක් වූ බණ්ඩාරනායක මැතිනිය, මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය අවධාරණය කළා ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතාට ලිපියක් යවමින් රබර් නිපදවන සියළුම රටවලට හානිකර වූ භාණ්ඩ බැහැර කිරීමේ ප්‍රතිපත්තිය අත්හරින ලෙස තරයේ ඉල්ලා සිටියා ය. ඇයට පිළිතුරු සපයමින් කෙනඩි මහතා මෙසේ සඳහන් කළේ ය. “ලංකාවේ විදේශ විනිමය ඉපයීම් සහ රාජ්‍ය ආදායම රබර් අපනයනය මත බෙහෙවින් රඳා පවතින බැවින් මෙම තත්ත්වය ලංකාව කෙරෙහි තදින් බලපාන බව මම හොඳින් අවබෝධ කර ගෙන සිටිමි. එක්සත් ජනපදය තම අතිරික්ත රබර් තොග බැහැර කරන විකුණුම් ඉතා සුපරීක්ෂාවෙන් සිදුකරන බවට ද, මෙම විකුණුම් ලෝක වෙළෙඳ පොළ කෙරෙහි ඇතිකරන අහිතකර බලපෑම් අවම කිරීමට හැකි සෑම පියවරක් ම ගන්නා බවට ද, මම සහතික වෙමි”. තම පොරොන්දුව අනුව කටයුතු කරමින් ජනාධිපති කෙනඩි සති තුනක් ඇතුළත අතිරික්ත තොග බැහැර කිරීමේ වැඩපිළිවෙළෙහි වෙනස්කම් ඇති කළේ ය.