• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1963 ඔක්තෝබර් 21 – 28 – සෝවියට් සංගමයේ සංචාරය

ශීතල යුද්ධයෙහි නිරතව සිටි සුපිරි බලවතුන් දෙදෙනා සමගම ඵලදායී ලෙස කටයුතු කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවෙහි යොදවමින්, සෝවියට් – ලංකා සබඳකම් තර කරන අතරම තම තුන් අවුරුදු නිල කාලය තුළ දැරූ අන්තර්ජාතික ප්‍රයත්නයන් තව දුරටත් ඉදිරියට ගෙනයාමේ අරමුණ ඇතිව බණ්ඩාරනායක මැතිනිය මොස්කව් බලා රාජ්‍ය නිල ගමනකට පිටත් වූවා ය. සෝවියට් සංගමයට ගිය ප්‍රථම ලාංකික අගමැති හැටියට ඇය නිකිටා කෘෂෙව් අගමැති සමග පුළුල් පරාසයක සාකච්ඡා පැවැත්වූවාය. මෙම සාකච්ඡාවල ප්‍රතිඵලය වශයෙන් ලංකාවට අඩු මිලට ඛනිජ තෙල් ලබා ගැනීමට හැකි විය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකාව තුළ ඛනිජ තෙල් බෙදා හැරීමේ සම්පූර්ණ අයිතිය 1964 ජනවාරි 01 සිට ලබා ගැනීමට නියමිතව සිටි බැවින්, විශාල වශයෙන් ඛනිජ තෙල් මිලට ගැනීමට සිදුවන පසුබිම තුළ මෙම එකඟත්වය වැදගත් විය. “මිත්‍රත්වයේ දූත මෙහෙවරක්” හැටියට හඳුන්වනු ලැබූ මෙම සංචාරය රුසියා‍නුවන්ගේ ඉමහත් ප්‍රසාදයට හේතු විය. මොස්කව් හී පැවති රාජ්‍ය උත්සවයක් අමතා කථා කළ බණ්ඩාරනායක මැතිනිය “බණ්ඩාරනායක මහතා සෝවියට් දේශයට පැමිණීමට සැලසුම් කරමින් සිටි අවධියෙහි ඔහුව ඝාතනය කරනු ලැබීය. අප දෙදෙනාගේම බලාපොරොත්තුවක් වූ සෝවියට් දේශයට පැමිණීමේ අභිලාශය මුදුන් පත්වීම ගැන මම බෙහෙවින් සතුටු වෙමි” යයි කීවා ය.