• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1964 ඔක්තෝබර් 05 – 10 – කයිරෝහී පැවති දෙවන නොබැඳි නායක සමුළුව

යූගෝස්ලාවියානු නායක මාෂල් ‍ජෝසප් බ්‍රෝස් ටිටෝ කයිරෝ හී පැවති දෙවන නායක සමුළුවේ දී නොබැඳි ව්‍යාපාරයේ නායකත්වය ඊජීප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර්ට පිරිනැමුවේ ය. වේගයෙන් වෙනස් වන ගෝලීය තත්ත්වයට අනුරූප වන ලෙස නොබැඳියාවේ අර්ථ නිරූපනය සහ කාර්යභාරය පරිණාමය විය යුතු බව සමුළුව අමතමින් බණ්ඩාරනායක මැතිනිය කීවා ය. “බලකඳවුරුවලට අන්තර්ග්‍රහනය වීමෙන් වැළකී සිටීමේ අධිෂ්ඨානය නිසා නොබැඳී සිටීමේ අදහස පහළ විය. බලවත් රටවල් අතර සබඳතා සම්බන්ධයෙන් ඇති වූ වෙනස්කම් සමග නොබැඳියාවේ අර්ථ නිරූපනය සහ කාර්යභාරය වෙනස් විය යුතු බව සත්‍යයකි” යනුවෙන් බණ්ඩාරනායක මැතිනිය අදහස් දැක්වූවා ය. ඇයගේ ආරම්භක අදහස් දැක්වීම පරිදි කයිරෝ සම්මේලනය යෝජනා දෙකක් සම්මත කළේ ය. ඉන් පළමුවැන්න නම් ලෝකයේ සාගර ආවරණය වන පරිදි න්‍යෂ්ටික අවි මුක්ත කලාප ස්ථාපනය කිරීම යි. දෙවැන්න නම් බලවත් ජාතීන් විසින් ඉන්දියානු සාගරයේ කඳවුරු ස්ථාපිත කොට පවත්වාගෙන යෑම සම්පූර්ණයෙන්ම හෙලා දැකීම යි. ඇය විසින් කයිරෝ සම්මුතීන් 1964 නොවැම්බර් 10 දින සෙනේට් සභාවේ දී සභාගත කරන ලදුව අනුමත විය. එම සම්මුතීන් ඉන් අනතුරුව ලංකා විදේශ ප්‍රතිපත්තියේ මූලික ලක්ෂණයක් විය.