• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1970 සැප්තැම්බර් 08 – 10 – ලුසාකාහී පැවති තුන්වන නොබැඳි නායක සමුළුව

ලුසාකා හී පැවති තෙවන නොබැඳි නායක සමුළුවේ දී ඊජීප්තු ජනාධිපති ගමල් අබ්දෙල් නසාර් නොබැඳි ව්‍යාපාරයේ නායකත්වය ජනාධිපති කෙනත් කවුන්ඩාට පිළිගැන්වී ය. ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දැරූ බණ්ඩාරනායක මැතිනිය කවර බලකඳවුරකින් වුව ද එල්ලවන කවර ආකාරයක ආර්ථික හෝ යුධමය බලපෑමකට වුව ද තම ස්ථීර විරුද්ධත්වය නැවතත් අවධාරණය කළා ය. සමුළුව ඇමතූ ඇය “නොබැදි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැමති වන අප රට වැනි කුඩා රටවල් අනේක විධ පීඩනයත්, තර්ජනයන් හා හිරිහැරවලට භාජන වන්නේ ය. නමුත් අළුතෙන් සංවර්ධනය වන රටවලට සියළු රටවල් කෙරෙහි දක්වන නොබැඳියාව ඉතාමත් හොඳ ප්‍රතිපත්තිය බවට කිසිම සැකයක් නැත. ප්‍රමාණාත්මක වශයෙන් අප සමුළුව, අන්තර්ජාතික දේශපාලනයෙහි ධනාත්මක බලවේගයක් හැටියට නොබැඳි ප්‍රතිපත්තියෙහි අගය ලෝකයෙන් අඩක්ම තේරුම් ගෙන ඇති බව ඔප්පු කරයි” යනුවෙන් ප්‍රකාශ කළා ය. නොබැඳි රටවල භූමිය, භෞමික ජලාශ සහ වා තලය බලවත් රාජ්‍යයන්ගේ ප්‍රතිරෝධතා සහ ගැටුම් සඳහා නිරාවරණය නොවී සාම කලාප වශයෙන් පැවතිය යුතුය යනුවෙන් මෙම සමුළුවේ දී බණ්ඩාරනායක මැතිනිය පළ කළ අදහස විශේෂ වැදගත්කමක් උසුලයි. ඉන්දියානු සාගරය සාම කලාපයක් විය යුතුය යනුවෙන් බණ්ඩාරනායක මැතිනිය තර්ක කළේ මෙහි දී ය.