• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1916 අප්‍රේල් 17 – සිරිමාවෝ රත්වත්තේ මැතිනිය ඉපදීම

මහනුවර බාන්ස් රත්වත්තේ දිසාව සහ මහවෙලතැන්නේ වලව්වේ රොසලින් මහවෙලතැන්නේ කුමාරිහාමිට දාව දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය හැටියට සිරිමාවෝ රත්වත්තේ මැතිනිය උපත ලැබුවා ය. පවුලේ අනෙක් දූ පුතුන් වූයේ බාන්ස්, පැට්ට්‍රීසියා, මැකී, සීවලී සහ ක්ලිෆ්ඩ් ය. ඇගේ පියා වූ රටේ මහත්තයා ආණ්ඩුකරණ කටයුතුවල ක්‍රියාශීලී ලෙස නිරත වූ අතර, මව ගෘහණියක් ලෙස කටයුතු කිරීමට අමතරව ගැමියන්ට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව වෙදකම් කිරීමෙන් ජන ප්‍රසාදයට පාත්‍ර විය. සිරිමාවෝ තම කුඩා අවදියෙහි වැඩි කොටසක් මහවෙලතැන්න සහ බලංගොඩ ගත කළාය. ප්‍රථමයෙන් බලංගොඩ පහළ බාලාංශයෙහි ද, අනතුරුව රත්නපුරයේ පර්ගියුසන් උසස් පාසළෙහි ද, ඉන් පසු කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙහි ද, ඉගෙනීම ලැබුවා ය. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙහි ගත කළ පාසල් අවධියෙහි වැඩි කොටසක් තුළ බාලදක්ෂ මානවිකාවක් ලෙස කටයුතු කර ඇත.