ඉන්දියාව හා චීනය අතර පැවති අර්බුධකාරී තත්ත්වය ගැන කොළඹ දී එළඹුන තීරණ ගැන ඉන්දියානු අගමැති ජවහර්ලාල් නේරුගේ කැමැත්ත ලබා ගැනීමට බණ්ඩාරනායක මැතිනිය ඉන්දියාව බලා පිටත්ව ගියා ය. බණ්ඩාරනායක මැතිනිය නව දිල්ලියේ දී කථා කරමින් “යුද්ධය කිසිදු ප්‍රශ්නයක් නොවිසඳයි. එය තවත් ප්‍රශ්න ඇති කරයි. මෙය ඉතිහාසය විසින් අපට උගන්වා ඇති පාඩමක් බව මම විශ්වාස කරමි” යනුවෙන් කීවාය.
පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි මතභේදයට හේතු පාදක වූ කච්චතිවු දූපත, බණ්ඩාරනායක මැතිනිය ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනිය සමග පැවැත් වූ තියුණු සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන්, සමුද්‍ර සීමාවේ ශ්‍රී ලංකාවට අයත් කොටසේ පිහිටි බවට එකඟත්වය පලවිය. බොහෝ දෙනෙකු විසඳීමට උත්සාහ කළ ද, විසඳීමට නොහැකි වූ දිගු කලක පටන් පැවති මෙම ගැටළුව ඉන්දියා – ලංකා අග්‍රාමාත්‍ය දෙපලගේ එකඟත්වය මත විසඳනු ලැබී ය.
කොළඹ සාකච්ඡාවල ප්‍රතිඵලය ගැන චීනය දැනුවත් කිරීමට බණ්ඩාරනායක මැතිනිය චීනය බලා පිටත්ව ගියා ය. ඇයගේ ප්‍රයත්නය සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණි. සාමකාමී විසඳුමක් ඇති කිරීම සඳහා බණ්ඩාරනායක මැතිනිය දැරූ ආරම්භක ප්‍රයත්නය ගැන චීනය තම කෘතඥතාවය පල කළේය. බැංඩුං සිද්ධාන්ත නැවත තහවුරු කිරීමට මෙම සුදුසු අවස්ථාවක් විය. ඒ අනුව දැනට මතු වී ඇති ප්‍රශ්නය පමණක් නොව මෙම ප්‍රදේශයේ පැනනගින වෙනත් සියළුම ප්‍රශ්න සම්බන්ධයෙන් බැංඩුං සිද්ධාන්ත භාවිතා කිරීම සහ බැංඩුං තීරණවල හරය අනුව කටයුතු කිරීම ඉක්මන් සාමකාමී විසඳුමකට මග බව පිළිගන්නා ලදී.
නොබැඳි ව්‍යාපාරයේ පස්වන නායක සමුළුව කොළඹ දී පැවැත්වීමත් සමග රටවල් 86කින් සමන්විත මෙම ව්‍යාපාරයේ නායකත්වය බණ්ඩාරනායක මැතිනියට හිමි විය. ඇල්ජීරියානු ජනාධිපති හෝරි බෝමචීන්ගෙන් නායකත්වය ලැබීමෙන් පසුව, බණ්ඩාරනායක මැතිනිය, සංවර්ධිත රටවල් සහ සංවර්ධනය වන රටවල් අතර පරතරය අඩු කිරීමේ අරමුණ ඇතිව, සාමූහික ආර්ථික ස්වශක්තිය අවධාරණය කරමින් ආර්ථික සංවර්ධන මාවතෙහි මෙම ව්‍යාපාරය මෙහෙය වූවාය. සංවර්ධනය වන රටවල අපේක්ෂාවන් තරයේ ප්‍රකාශ කරමින්, වෙළෙඳාම පුළුල් කිරීමට සහාය වන “නව අන්තර්ජාතික ආර්ථික ප්‍රකාරයක්” සඳහා බලවත් ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. අළුතෙන් ඉදිකරන ලද චීන රජය විසින් ප්‍රදානය කළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙහි පැවැත් වූ පස්වන නායක සමුළුව, ශ්‍රී ලංකාව සංවර්ධනය වන රටවල කේන්ද්‍රස්ථානයෙහි තැබීමට ඉවහල් විය.
1972 මැයි 22 දින ජනරජ ව්‍යවස්ථාව නීත්‍යානුකූලව පිළිගැනීමත් සමග ශ්‍රී ලංකාව ඩොමීනියන් තත්ත්වයෙන් බැහැර වී සම්පූර්ණයෙන් ම නිදහස් රටක් බවට පත්විය. නව ව්‍යවස්ථාව යටතේ මෙතෙක් කල් එක්සත් රාජධානියේ මහ රැජින විසින් පත්කරන ලද අග්‍රාණ්ඩුකාර වෙනුවට ජනාධිපතිතුමා රාජ්‍ය ප්‍රධානි හැටියට පත්වීම් ලැබී ය. විලියම් ගොපල්ලව මහතා පළමු ජනාධිපති පදවියට පත් වූ අතර බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය පදවිය ලැබුවා ය. ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව නීත්‍යානුකූලව පිළිගැනීමත් සමග ජාතික රාජ්‍ය සභාව සත්වන පාර්ලිමේන්තුව අභිබවා ස්ථාපිත විය. පළමු ජාතික රාජ්‍ය සභාව අවුරුදු 4කට පසු 1977 මැයි 18 දින විසුරුවා හරින ලදී.