වර්ෂ 1916 අප්‍රේල් මස 17 වැනි දින සබරගමුව මහදිසාව වූ බාන්ස් රත්වත්තේ සහ උඩරට ප්‍රභු පෙළපතක මහවලතැන්න කුමාරිහාමිගේ වැඩිමහල් දියණිය වශයෙන් සිරිමාවෝ රත්වත්තේ මෙලොව එළිය දුටුවා ය. ඇයට සොහොයුරන් සතර දෙනෙකු ද සොහොයුරියන් දෙදෙනෙකු ද වූහ. කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලැබූ ඇය යටත් විජිත පාලන සමයෙහි ඉහළ පිළිගැනීමට ලක් වූ පාරම්පරික වංශවත් පවුලක් නියෝජනය කළ ඩොනමෝර් ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සමග 1940 දී විවාහ ප්‍රාප්ත වූවා ය. ඇමතිවරයෙකු, නව පක්ෂ නායකවරයෙකු හා අගමැතිවරයෙකු වශයෙන් තනතුරු දැරූ ඇගේ ස්වාමිපුරුෂයාගේ වගකීම් හා තානාන්තර පිළිබඳ මනා අවබෝධයෙන් යුතුව ඔහුගේ දේශපාලන අභිප්‍රායන් සාක්ෂාත් කරගැනීමට දිරි දෙමින් ඉතා වටිනා මෙහෙයක් ඇය විසින් ඉටුකරනු ලැබුවා ය. 1959 එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ශෝකජනක වියෝවීම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ඉතා අකමැත්තෙන් වුවද ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ මාවත විවෘතවූ අතර 1960 පැවත්වූ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශිෂ්ඨ ජයග්‍රහනයක් කරා ගෙන ගියා පමණක් නොව ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට ද ඇය සමත් වූවා ය. සිය ක්‍රියාකාරී දේශපාලන කාලය තුළ තෙවරක් අගමැතිනිය ලෙස ද (1960-65, 1970 – 77, 1989-94) එම මුළු කාල වකවාණුව තුලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස ද ඇය තනතුරු දැරුවා ය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දේශපාලන ගමන් මඟෙහි ඓතිහාසික වශයෙන් කැපී පෙනුණ කරුණු දෙකකි. එනම්, යටත් විජිත භාවයෙන් රට මුදා ගැනීමත්, පශ්චාත් යටත් විජිත ලක්ෂණ වලින් නිදහස් වූ රාජ්‍යයක් ගොඩනඟා ගැනීමත් ය. මේවා සාක්ෂාත් කරගැනීමට ඇය ගත් පුරෝගාමී පියවරයන් ඉතා ප්‍රබල මෙන්ම නැවුම් ඒවා ද විය. 1956 එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ නායකත්වය යටතේ යටතේ බිහිවූ මහජන එක්සත් පෙරමුණ සභාග දේශපාලන නායකත්වය තුළ යටත් විජිත භාවයෙන් රට මුදාගැනීම සඳහා අරඹන ලද ආයතනික ප්‍රතිසංස්කරණයන් ඇය තවදුරටත් ඉදිරියට ගෙන ගියාය. නව ආණ්ඩුව විසින් රජය සහ රජය සතු සියළු බලතල සහ ආයතනික මෙවලම් රටේ දේශපාලන, ආර්ථික, සාමාජීක හා සංස්කෘතික අංශ සංවර්ධනය කරා ගෙනයාම පිණිස යොමු කරවනු ලැබීය.
1959 වසරේ දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වීම පක්ෂ නායකත්වය තුල ප්‍රබල රික්තයක් ඇති කළේ ය. මෙම තීරණාත්මක මොහොතෙහි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඇයගේ ස්වාමිපුරුෂයා විසින් අරඹන ලද හා නිම නොවූ දේශපාලන උරුමය භාරගනිමින් එය සාර්ථකත්වය කරා මෙහෙය වුවා ය. එතුමිය අගමැතිධූරය දැරූ පළමු අවධියේ දී (1960-1965) ආයතන ජනසතු කිරීමේ ක්‍රියාවලිය සහ එමගින් සම්පත් බෙදීයාම සාධාරණීකරණය සඳහා වූ ක්‍රියාවලිය (Redistributive justice) දිගටම ඉදිරියට ගෙන ගියා ය. රටේ ආර්ථික සංවර්ධනයට බලපෑම් කරන්නා වූ බාහිර බලවේග මැඩපැවැත්වීම පිණිස වූ මූලික ප්‍රතිපත්ති ඇරඹුම් ඔස්සේ රජයේ කාර්යභාරය මැනවින් තහවුරු කිරීමට පියවර ගන්නා ලදී. අගමැතිනිය ලෙස පත් දෙවැනි අවදියේ දී (1970-77) පසු යටත් විජිත සමයේ රට ගොඩනැංවීමෙහි ලා වූ මූලික කරුණු තුනක් කෙරෙහි අවධානය යොමුකරනු ලැබුවේ ය. එනම්, රජයට නව දැක්මක් සහ දර්ශනයක් ගොඩනඟා ගැනීම , ආයතනික මෙවලම් ඇති කිරීම සහ මේ දෙකටම අනුකූලව භෞතික හා මානුෂික ප්‍රවේශයක් ඔස්සේ රට සංවර්ධනය කිරීමයි. එහිදී ප්‍රමුඛත්වය දෙනලද සමාජ සාධාණය සඳහා වූ ප්‍රතිසංස්කරණ විසින් රටේ ජාතික ඒකාග්‍රතාවය කෙරෙහි ඇති කරන ලද සෘණවාදී බලපෑම්අවතක්සේවරුවට ලක්නොවිය යුතුය.
පශ්චාත් යටත්විජතවාදී ආයතන ගොඩනැඟීමෙහිලා කැපීපෙනුනු ඇරඹුමක් වූයේ යටත්විජිත ස්වාමියා සමඟ බැඳී පැවතුණු පෙකණිවැල කපා දැමූ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවයි. 1972 –1975 කාලය තුළ ක්‍රියාත්මක වූ ඉඩම් ප්‍රතිසංස්කරණ මෙවලම් විසින් ඉඩම් අයිතියට සීමාපැනවීම මගින් විදේශීය වැවිලි සමාගම් සතු වතු රජයට පවරාගන්නා ලද අතර, ඒවා කළමනාකරණය ව්‍යාප්තවීම හේතුවෙන් රාජ්‍ය සංස්ථා රාශියක්ම ඉතා වේගයෙන් බිහිවිණි. 1956 න් ඇරඹූණු දේශපාලන ක්‍රියාවලිය මේ පියවරයන් නිසා තවදුරටත් ශක්තිමත් වූයේ ය.
බණ්ඩාරනායක අගමැතිනියගේසුවිශේෂී මුද්‍රාව මැනවින් කැපීපෙනෙන අංශයක් වූයේ විදේශ ප්‍රතිපත්තියයි. ඇයගේ දිවංගත ස්වාමිපුරුෂයා විසින් ගොඩනඟන ලද අඩිතාලම මත ශ්‍රී ලංකාවේ නොබැඳි පිළිවෙත තවදුරටත් සංවර්ධනය කර ජාත්‍යන්තර කීර්තිය ලබාගනිමින් ඉතා ඉහළ මට්ටමකට රට ඔසවා තැබීමට ඇය සමත් වුවාය. ලෝකයේ බලවත් රටවල් අතර පවතින සීතල යුද්ධය ඉදිරියේ නොබැඳි පිළිවෙතක රැදෙමින්, ජාත්‍යන්තර රැස්වීම්වලදී දියුණු වෙමින් පවතින රටවල් සමඟ ඉදිරියට යමින් පොදු අභිලාෂයන් සඳහා ඉදිරිපත්වෙමින් සිය අනන්‍යතාවය විඳහා දැක්වූවාය. සුපිරි බලවතුන් අතර ඉන්දියන් සාගරයේ නාවික බලය සඳහා වූ තරඟය පසෙක තිබියදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඉන්දියන් සාගරය සාම කලාපයක් ලෙස කෙරෙන යෝජනාව එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කිරීමට මුල්තැනගෙන ක්‍රියාකලාය. තවද, දකුණු ආසියානු ප්‍රතිපත්තීන් ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂයන් හා ගැලපෙන අයුරින් යොදාගැනීමට ඇය වගබලා ගත්තාය.
ඉන්දියාව සමඟ ශක්තිමත්වූත්, සුහදවූත් අන්‍යොන්‍ය සබඳතාවය පවත්වාගෙන යමින් අනෙකුත් ආසියානු බලවතුන් වන චීනය සහ අරාබි ලෝකය සමඟ ද ඒ හා සමාන බැඳීම් ඇතිකරගෙන විශාල පරාසයක් තුල ක්‍රියාකිරීමට උපායශීලීව මග සලසා ගත්තාය.
1977 න් පසුව ඇයට මුහුණපෑමට සිදුවූ අභියෝග බොහෝ ය. ඇයගේ නායකත්ව ලක්ෂණ වඩාත් ඉහලින් ප්‍රකට වූයේ ඇය පාලන බලයෙන් ඉවත්වී සිටි වකවාණුව තුලදීය. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකාව ලෙස ඇයගේ ක්‍රියාකලාපය ඉතා ආදර්ශමත් විය. විවිධ විකල්ප දේශපාලන අර්බුද මැඩපැවැත්වීමට ඇය සමත්වුවාය. සිය දේශපාලන ජීවිතය පුරාම ඇය දැඩි ප්‍රජාතන්ත්‍රවාදිනියක වුවා ය. එය පැහැදිලි වනුයේ අගමැති ලෙස මුහුණදුන් බරපතල අභියෝග දෙකක් සලකා බැලීමෙනි. 1962 රජය පෙරළා දැමීමේ හමුදා කුමන්ත්‍රණය සහ 1971තරුණයින් නැඟී සිටි අප්‍රේල් කැරැල්ල යන දෙකයි. තදබල මර්දනකාරී දේශපාලන කණ්ඩායම් යටතේ වුවද ඇය මහජනතාව හා ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කලාය. ප්‍රායෝගික නායකයෙකු ලෙස අවශේෂ දේශපාලන පක්ෂ සමඟ සහාය රජයක් පිහිටුවා ගැනීමට පොළඹවා ගැනීම ද ඇගේ අතිදක්ෂභාවය පෙන්නුම් කළ අවස්ථාවකි. ඇයගේ ස්වරූපයට ගැලපෙන පරිදිම ඇයගේ අවසන් ක්‍රියාව වූයේ මරණයට පැය කිහිපයකට පෙර වසර 2000 මහා මැතිවරණය වෙනුවෙන් තම ජන්දය ප්‍රකාශ කිරීමයි.
ඇය තම දීර්ඝ දේශපාලන ගමන තුළ විවිධ නිලතල හොබවමින් ප්‍රමුඛ දේශපාලන භුමිකාවක් නියෝජනය කලාය. ඒ සියල්ලටම වඩා මැතිනිය ප්‍රදර්ශණය කළ ඉතා අඟනා ගුණ මහිමය වූයේ ඇය තුළ වූ මානව දයාවයි. අවසාන කාලපරිච්ජේදයේ දී ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකාවක වශයෙන් සරණ පතා ඇය වෙත පැමිණ විවිධ පුද්ගලයින්ගේ දේශපාලන මත පක්ෂ, පාට ආදිය නොසලකමින් උපදෙස් දෙමින් ඔවුන්ට සැනසුම ළගාකර දුන්නාය.
එතුමිය දියණියන් දෙදෙනෙකුගේ සහ එක් පුතනුවකුගේ ආදරබර මවකි. වැඩිමහල් දියණිය සුනේත්‍රා විවිධ දුබලතා සහිත දරුවන්ගේ යහපත උදෙසා සමාජ ක්‍රියාකාරිනියක් ලෙස අගනා සේවයක් ඉටුකරන්නී ය.බාල දියණිය චන්ද්‍රිකා අපරට සතරවැනි විධායක ජනාධිපතිනිය ලෙස දෙවරක්ම බලයට තේරී පත්වූවාය. පුතණුවන් අනුර අමාත්‍ය මණ්ඩලයේ ඇමතිධූර, විපක්ෂ නායකධුර හා පාර්ලිමේන්තු කථානායක ධූර දරමින් රාජ්‍ය පාලන කේෂ්ත්‍රයෙහි සිය දායකත්වය මැනවින් ප්‍රකට කලේ ය.