ග්‍රාමීය ප්‍රදේශවල පැවති තත්ත්වය නඟාසිටුවමින්, දුර බැහැර ගම් නියම් ගම්වල සමාජ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් කාන්තා ව්‍යාපාරයක් හැටියට 1930 වසරේ දී වෛද්‍ය මේරි රත්නම් මැතිනිය විසින් ලංකා මහිලා සමිතිය පිහිටුවන ලදී. විවාහයෙන් කෙටි කලකට පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1941 දී ලංකා මහිලා සමිතියේ සාමාජිකත්වය ලබා ගත් අතර, එම වකවානුවේ දී ම තවත් කාන්තා සංවිධාන රාශියක සාමාජිකත්වය ලබා ගත්තා ය. සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව පිළිබඳ ගැටළු ද, ව්‍යවසායකත්වය සහ ගෘහ කර්මාන්ත ද, අධ්‍යාපනය ද, තම සේවා ව්‍යුහයට ඇතුළත් කරමින් ග්‍රාමීය සංවර්ධනයේ සියළු අංශ වෙත අවධානය යොමු කළ සංවිධානයක් බවට ප්‍රථම දශකයේ දී ම, ලංකා මහිලා සමිතිය වර්ධනය විය. විශේෂයෙන් ම බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත් ඇතුළුව බොහෝ දුර පැතිර පවත්නා ගම් නියම් ගම්වලට තම සේවය නිසා බණ්ඩාරනායක මැතිනියට යන්නට සිදු විය. දිළිඳුකම අවම කිරීම සහ ග්‍රාමීය සංවර්ධනය පරමාර්ථ කර ගනිමින් ලංකා මහිලා සමිතියේ පරමාධ්‍යාශයන් ප්‍රවර්ධනය කරන අතරම, සමාජයේ සියළු තරාතිරම්වල ජනතාව හමුවී ඔවුන්ගේ දෛනික අරගල සහ පැවත්ම සඳහා දරන අඛණ්ඩ ප්‍රයත්නයට දෙනෙත් යොමු කිරීමෙන් ලද අත්දැකීම්වලින් ඇය ලබාගත් අවබෝධය ඉදිරි දශකවලදී ඇයට ඉමහත් පිටිවහලක් විය. ලංකා මහිලා සමිතියේ සාමාජිකාවක් ලෙස බණ්ඩාරනායක මැතිනිය දශක දෙකක් පමණ සේවය කළා ය. ඇය එම සමිතියේ භාණ්ඩාගාරික ලෙස අවුරුදු අටක් සේවය කළ අතර, උප සභාපතිණිය හැටියට අවුරුදු දෙකක් ද, අනතුරුව 1960 දී අගමැති තනතුර ලැබීමෙන් පසු ඉල්ලා අස්වන තුරු සභාපතිනිය හැටියට ද සේවය කළා ය.